ගාලු කථිකාව 2019 සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාව නාවික හමුදා මුලස්ථානයේදී

2019 ඔක්තෝබර් මස 21 සහ 22 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත ගාලු කථිකාව - 2019 ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ජාව අද (ඔක්තෝබර් 15) නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රදානත්වයෙන් නාවික හමුදා මුලස්ථානයේදී පැවැත්විණි. ඒ සඳහා දෙස් විදෙස් මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදින් රැසක් සහභාගිවී සිටියහ.

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව දහවන වරටත් සංවිධානය කරනු ලබන 2019 ගාලූ කථීකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹ ගාලූමුවදොර හෝටලයේදී පැවැත්විමට සියලු කටයුතු මේවන විට සුදානම් කර ඇති අතර, මෙවර සමුළුව සඳහා රටවල් 55 ක සහ ජාත්‍යන්තර සංවිධාන 10 ක මෙන්ම ආරක්ෂක ක්ෂේත්‍රයේ නිපැයුම් සම්බන්ද ආයතන 03 ක දෙස් විදෙස් නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන් රැසක් සහභාගිවීමට නියමිතව ඇත. මෙවර සමුළුව “නව චින්තනයකින් යුතුව අන්තර් සමුද්‍රීය තර්ජනයන් හට පිළියම් යෙදිම සඳහා සුදානම් විම : දශකයක සමාලෝචනය” යන තේමාව යටතේ පැවැත්වෙන අතර, සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වීමට නියමිතව ඇත.

මෙම මාධ්‍ය සාකච්ජාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල සහ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කොමාණ්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ද එක් වී සිටියහ.