තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් දහනව දෙනෙකු (19) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 16 වන දින ත්‍රිකුණාමලය නගරය ආසන්න මුහුදු තීරයේ, චෙම්ම‍ලේ මුහුදු ප්‍රදේශයේ සහ පොඩුවාකට්ටු මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් දහනවදෙනෙකු (19) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමලය නගරය ආසන්න මුහුදු ප්‍රදේශයේ, චෙම්ම‍ලේ මුහුදු ප්‍රදේශය සහ පොඩුවාකට්ටු මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයන් අතරතුරදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් දහනව දෙනෙකු (19) මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 19 ත් 65 ත් අතර වියෙහි පසුවන කෝකිලායි, මදුරන්කුලිය, මීගමුව, කුච්චවේලි, තඹුත්තේගම සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. එහිදි ඔවුන් සතුව තිබූ තහනම් දැල් හතරක් (04) ක්, ඩිංගි යාත්‍රා හතරක් (04), පිටත දහන එංජින් යන්ත්‍ර හතරක් (04) ඇතුළු අනෙකුත් ධීවර ආම්පන්න සොයා ගෙන ඇති අතර, එම උපකරණ සහ පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දෙන ලදී.

මෙවැනි තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් සාගර පරිසර පද්ධතිය විනාශ වීම වලක්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටී.