හත්වන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) ක්‍රීඩා උළෙල සඳහා නාවික හමුදා කණ්ඩායම එක්වෙයි

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය (Council International Military Sports) මගින් හත්වන වරටත් සංවිධානය කරනු ලබන ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමට කොමදෝරු ජයන්ත ගමගේ ගේ ප්‍රධානත්වයෙන් යුත් නාවික හමුදා ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (ඔක්තෝබර් 16) උදෑසන චීනයේ, වුහාන් බලා දිවයිනෙන් පිටත්ව යන ලදී.

ඒ අනුව, මෙවර හත්වන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) ක්‍රීඩා උළෙල චීනයේ, වුවාන් නගරයේදී 2019 ඔක්තෝම්බර් 29 වන දින දක්වා පැවැත්වෙන අතර මේ සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 103 දෙනෙකු සහභාගි වන අතර, මෙම කණ්ඩායමේ මෙහෙයුම් ප්‍රධානී වශයෙන් කොමදෝරු ජයන්ත ගමගේ කටයුතු කරණු ලබයි. මෙම සංචිතයට යුධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් 52 ක් ද , නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් 27 ක් සහ ගුවන් හමුදාව නියෝජණය කරමින් ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් 24 ක් ඇතුලත්ව ඇත.

තවද, අන්තර් ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය 1948 පෙබරවාරි 18 වන දින ආරම්භ වී ඇති අතර, මේ වන විට රටවල් 135 ක ත්‍රිවිධ හමුදා සාමාජිකයින් එහි සාමාජිකත්වය ලබාගෙන ඇත. ශ්‍රී ලංකාව 1996 වසරේදි එහි සාමාජිකත්වය ලබා ගෙන ඇත. ඒ අනුව අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් ශීත සෘතුවේ හා ග්‍රීස්ම සෘතුවේදී මහද්වීප මට්ටමින් සෑම වසර 04 කට වරක්ම අන්තර්ජාතික හමුදා ක්‍රීඩා තරඟාවලි පවත්වනු ලබන අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදා නියෝජනය කරමින් අදාල සාමාජිකත්ව රටවල ක්‍රීඩක/ක්‍රීඩිකාවන් සහභාගි වේ.