නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 715 ක් සමඟ පුද්ගලයින් හතරදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 17) අළුයම අරිප්පු, නැගෙනහිර වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 715 ක් සමඟ පුද්ගලයින් හතරදෙනෙකු (04) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානය විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදී ධීවර අවසරපත් නොමැතිව මුහුදු කූඩැල්ලන් ඇල්ලීම හේතුවෙන් මෙම පුද්ගලයින් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එහිදී, මුහුදු කුඩැල්ලන් ඇල්ලීම සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා දෙකක්, පිටත දහන යන්ත්‍ර දෙකක් සහ ධීවර ආම්පන්න තොගයක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

මෙම පුද්ගලයින් අවුරුදු 26 ත් 53 ත් අතර වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, මුහුදු කූඩැල්ලන්, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.