නාවික හමුදා විශේෂ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 164.3 සොයා ගැනේ

නාවික හමුදාව අද (ඔක්තෝබර් 19) අළුයම මන්නාරම, ඉලුපාකඩවෙයි ප්‍රදේශයේදී ‍නාවික හමුදාව යොදා ඇති මාර්ග බාධකයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 164.3 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, මන්නාරම, ඉලුපාකඩවෙයි ප්‍රදේශයේ නාවික හමුදාව විසින් යොදා ඇති මාර්ග බාධකයේදී අද අළුයම සැකකටයුතු සුඛෝපබෝගී ජිප් රථයක් නැවැත්වීමට උත්සාහ කිරීමේදී රථය නාවික හමුදාවේ අණ නොතකා පලා යාමට උත්සාහ කර ඇත. එහිදී, නාවික හමුදා ක්‍රමවේදයට අනූව පලා යමින් සිටි සැක කටයුතු ජිප් රථය වෙත අවවාදාත්මක වෙඩි පහර එල්ල කිරීමෙන් පසු සැක කටයුතු ජිප් රථය නවත්වා ගැනීමට නාවික හමුදාව සමත් වූ අතර, අදාල රථය පරික්ෂා කිරිමේදි පාර්සල් කිහිපයක බහා තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 164.3 ක් සොයා ගැනීමට සමත් වීය. එහිදී රථයේ රියදුරු කළුවන්කර්නි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, අනෙකුත් සැකකරු මොණරාගල, මැදගම පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු බවට හඳුනාගෙන ඇත. නාවික හමුදා බාරයට ගත් සැකකරුවන්, ඔවුන් ගමන්ගත් සුඛෝපබෝගී ජිප් රථය සහ කේරල ගංජා තොගය මන්නරම පොලිසියට භාර දීමට නියමිතව ඇත.

මෙම වසර තුළ පමණක් නාවික හමුදාව විසින් අවස්ථා 105 කදී කේරළ ගංජා ටොන් 03 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර, එහිදී සැකකරුවන් 169 දෙනෙකු ද නීතියේ රැහැනට හසුකර දීමට සමත්ව ඇත. තවද, මෙරට මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානය යොමු කරමින් ඒ සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටි.