නාගදීප විහාරයේ වාර්ෂික කඨින පිංකමට නාවික හමුදාවේ සහාය

යාපනය, නයනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරයේ වාර්ෂික කඨින පිංකම, නාවික හමුදා සහයෝගයෙන් ඔක්තෝබර් මස 17 සහ 18 යන දිනයන්හි උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

මෙම කඨින පිංකම නාගදීප විහාරයේ විහාරාධිපති, ප්‍රවීණාචාර්ය ධර්ම කීර්ති ශ්‍රි අතිපූජ්‍ය නවදගල පදුම කිත්ති තිස්ස ස්වාමීන් වහන්සේ ගේ ආශිර්වාදයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත උතුරු නාවික විධානය විසින් සංවිධානය කරන ලද අතර, එය සාර්ථක කර ගැනීම සඳහා උතුරු නාවික විධානය භාර ආඥාපති ඇතුළු විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් ඉතා කැපවීමෙන් කටයුතු කරන ලදී.

‘කඨින පිංකම’ යනු ලොව පුරා බෞද්ධයින් හට කුසල් එක්රැස් කර ගැනීමේ උතුම් ආගමික පිංකමක් වන අතර, ගරුතර භික්ෂූන් වහන්සේලා විසින් ඇසල පුන් පොහොය දිනයේ සිට වප් පුර පසළොස්වක පොහොය දක්වා වූ මාස තුනක කාලයක් වස් කාලය ගත කරනු ලබයි. ඒ අනුව, වප් පුර පසළොස්වක දිනයේදී භික්ෂූන් වහන්සේ විසින් වස් කාලය අතහැර දමන අතර, එහිදී බෞද්ධාගමික පිංවතුන් විසින් ‘කඨින පුජාව’ සිදු කරනු ලබයි. මෙහිදී ‘කඨින පුජාව’ ලෙස හඳුන්වනු ලබන්නේ ‘වස්’ කාලය සම්පුර්ණ කළ භික්ෂූන් වහන්සේලා හට නව චීවර පිරිනැමීම වන අතර, එය ‘වප් පුර පසළොස්වක දිනය’ සහ ‘ඉල් පුන් පොහොය’ අතර කාලය තුල සිදු කරනු ලබන කාලීන චාරිත්‍රයකි.

කඨින පුණ්‍ය උත්සවය නාවික හමුදාව විසින් සංවිධානය කළ අලංකාර පෙරහැරකින් සමන්විත වූ අතර, එය නාවික හමුදා සංස්කෘතික කණ්ඩායමේ සහ මැදවච්චිය, සේනානායක විද්‍යාලයේ පාසල් දූ දරුවන්ගෙන් සමන්විත විය. අනතුරුව බෝධි පුජා සහ ධර්ම දේශනා පිංකම් මාලාවක් ද පැවැත්විණි. ඔක‍්තෝබර් 18 වන දින ගරුතර සංඝයාවහන්සේලා විෂයෙහි දානමය පිංකමක් සහ පිරිකර පූජාවක් ද පැවැති අතර, එම අවස්ථාව සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, උතුරු නාවික විධානය භාර ආඥාපති, උතුරු නාවික විධානයට අනුයුක්ත දෙපාර්තමේන්තු ප්‍රධානීන්, නාවික, යුද්ධ හමුදා සහ පොලිස් නිලධාරින් මෙන්ම සෙසු සාමාජිකයින් විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

තවද, උතුරු නාවික විධානය අයත් ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයේ අණදෙන නිලධාරි ඇතුළු නැව් මුළුව විසින් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් බත් දන්සැලක් ද සංවිධානය කර තිබුණි. එමෙන්ම මෙවර කඨින පුණ්‍ය උත්සවය සාර්ථක කර ගැනීම සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත දෙපාර්ථමේන්තු ප්‍රධානීන් ඇතුළු නාවික පුද්ගලයින් විසින් දක්වන ලද කැපවීම නාගදීප පුරාණ රජ මහා විහාරයේ විහාරාධිපති ගේ විශේෂ ඇගයීමට ලක් කරන ලද අතර, විහාරාධිපති විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඇතුළු සමස්ථ නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් හට ද එහිදී ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි.