නීති විරෝධී ලෙස මෙරටට සංක්‍රමණය වීමට උත්සාහ කල පුද්ගලයින් තිදෙනෙකු ඇතුළු මිනිස් ජාවරම් මෙහෙයවනු ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීති විරෝධී කටයුතු වැලැක්විම අරමුණු කර ගනිමින් නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස මන්නාරම් මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ පුද්ගලයින් පස්දෙනෙකු (05) 2019 ඔක්තෝබර් 20 වන දින නාවික හමුදා බාරයට ගෙන ඇත.

මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදේ ‍සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් යාත්‍රා කරන බව මුර සංචරයේ යෙදි සිටි නාවික හමුදාව නිරීක්ෂණය කර ඇති අතර, ඒ අනුව නාවික හමුදාව මඟින් අදාල සැක කටයුතු යාත්‍රාව පරික්‍ෂා කිරීමට කටයුතු කර ඇත. එහිදී නීති විරෝධී ලෙස මුහුදු මඟින් ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රීලාංකීක ජාතිකයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී මෙම මිනිස් ජාවරම් මෙහෙයවනු ලැබූ ජාවාරම්කරුවන් දෙදෙනෙක් (02) ද නාවික හමුදා බාරයට ගැනීමට පියවර ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 30 ක් සහ 34 ක් වන පේසාලේ සහ ඌරුමලෙයි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් අවුරුදු 28, 37 සහ 49 වන වියෙහි පසුවන යාපනය සහ මන්නාරම ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. නාවික හමුදා බාරයට ගත් සැකකරුවන් පස්දෙනා (05) සහ යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘තම්මැන්නා’ ආයතනය වෙත රැ‍ගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලෙයිමන්නාරම, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, මෙම සැකකරුවන් අතරින් එක් සැකකරුවෙකු පුදුකුඩුඉරුප්පු, පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන ලද හිටපු පොලිස් නිලධාරියෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඔහු පසුගිය කාලයේ ඉන්දියාව වෙත නීති විරෝධී ලෙස සංක්‍රමණයවී ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙරළ තීරය වටා ක්‍රියාත්මක කරනු ලබන මුර සංචාරයන් මගින් මුහුදු මාර්ග හරහා සිදු කරනු ලබන මෙවැනි නීති විරෝධී සංක්‍රමණ කටයුතු ඇතුළු සියළු නිතී විරෝධී කටයුතු සාර්ථකව මැඩපැවැත්විමට ඉඩ ප්‍රස්ථාව ලැබි ඇත.