බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ මෙහෙයුම් පුහුණු විධායක නැගෙනහිර නාවික විධානයේ සංචාරයක

කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී පවත්වන ලද ගාලු කථිකාව 2019 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ මෙහෙයුම් පුහුණු විධායක, කොමදෝරු සයිමන් හන්ටින්ග්ටන් (Simon Huntington) ඇතුළු නියෝජිත පිරිස 2019 ඔක්තෝබර් 23 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත වීය.

කොමදෝරු සයිමන් හන්ටින්ග්ටන් ඇතුළු නියෝජිත පිරිස ප්‍රථමයෙන්ම නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු ජයන්ත කුලරත්න හමුවීමට කටයුතු කරන ලද අතර, එහිදී නැගෙනහිර නාවික විධානයේ කාර්යභාර්ය පිළිබඳව නියෝජ්‍ය ආඥාපතිතුමා එම නියෝජිත පිරිස දැනුවත් කිරීමට කටයුතු කරන ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

ඉන් අනතුරුව නියෝජිත පිරිස නැගෙනහිර නාවික විධානයට අයත් විධාන කිමිදුම් ඒකකයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, පසුව එම නියෝජිත පිරිස නාවික තඨාකාංගණයේ පිහිටි කෞතුකාගාරය නැරඹීමට සහ නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ සංචාරයකට ද එක් විය.

මෙම අවස්ථාවන් සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආරක්ෂක උපදේශක, කර්නල් ඩේවිඩ් අස්මන් සහභාගි විය.