පොල්ගස් දුව ආරණ්‍යයේ වාර්ෂික කඨින පිංකම සදහා නාවික හමුදාවේ දායකත්වය

ගාල්ල, රත්ගම පොල්ගස්දූව ආරණ්‍යයේ වාර්ෂික කඨීන පිංකම මෙවරත්, බෞද්ධ බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2019 ඔක්තෝබර් 23 වන දින පැවති අතර, ඒ සඳහා දකුණු නාවික විධානය සිය දායකත්වය ලබා දෙන ලදී.

පොල්ගස්දූව ආරණ්‍යයේ කඨීන පිංකමට සහභාගී වීම සඳහා නන් දෙසින් පැමිණි බැතිමතුන් හට රත්ගම කලපුව හරහා ආරණ්‍යය වෙත ගමන් කිරීමට අසීරු බැවින්, එයට පිළියමක් වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත දකුණු නාවික විධානය භාර ආඥාපති ගේ අධීක්‍ෂණය යටතේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට අනුයුක්ත නාවිකයින් සහ මැරින් අංශයේ නාවිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක්, කුඩා යාත්‍රා තුනක් යොදා ගනිමින් ආරණ්‍යය දක්වා කලපුව හරහා ගමන් කිරිමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලදී.

බැතිමතුන් 1700 කට අධික ප්‍රමාණයක් සඳහා කලපුව හරහා ආරණ්‍යය වෙත ගමන් කිරිමට අවශ්‍ය පහසුකම් සපයා දීමට නාවික හමුදාව සමත් වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරනු ලැබූ මෙම සත්ක්‍රියාව වෙනුවෙන් ආරණ්‍යයේ ගරුතර මහා සංඝරත්නය සහ බැතිමතුන් සිය ප්‍රශංසාව පුද කර සිටියහ.