නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් අටදෙනෙකු (08) නාවික හමුදා බාරයට

නාවික හමුදාව ත්‍රිකුණාමලය, උප්පාරු මුහුදු‍ ප්‍රදේශයේ 2019 ඔක්තෝබර් 24 වන දින සිදු කල මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් අටදෙනෙකු (08) නාවික හමුදා බාරයට ගෙන නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමලය, උප්පාරු මුහුදු‍ ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයක් අතරතුරදී තහනම් දැල් භාවිතා කර ධිවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් අටදෙනෙකු (08) නාවික හමුදා බාරයට ගෙන ඇත. එම පුද්ගලයින් වයස අවුරුදු 25 ත් 43 ත් අතර වයස්වල පසුවන කින්නියා සහ චින වරාය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හදුනාගෙන ඇත. එහිදී ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, තහනම් දැලක් සහ නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 45 ක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, තහනම් දැල, නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා මූතුර්, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.