බිඩී කොළ කිලෝග්‍රෑම් 1268 ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 24 වන දින මීගමුව, ගල්කන්ද හන්දියේදී නීති වි‍රෝධී ලෙස බීඩි කොළ ප්‍රවාහනය කළ පුද්ගලයෙකු (01) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, බටහිර නාවික විධානය විසින් මීගමුව, ගල්කන්ද ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී ගල්කන්ද හන්දියේදී සැක කටයුතු ලොරි රථයක් පරීක්‍ෂා කර ඇති අතර, එහිදී පාර්සල් 39 ක අසුරා තිබු බීඩි කොළ කිලෝග්‍රෑම් 1268.090 ක් සමඟ මෙම පුද්ග‍ලයා නාවික හමුදා බාරයට ගෙන ඇත. එම බීඩි කොළ තොගය මීගමුව සිට මිනුවන්ගොඩ දෙසට ප්‍රවාහනය කරමින් තිබියදි මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, නාවික හමුදා බාරයට ගත් පුද්ගලයා අවුරුදු 41 වන වියෙහි පසුවන දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයා, බීඩි කොළ සහ ලොරි රථය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කොළඹ, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය. තවද, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන සෝදිසි කිරීම් සහ වැටලීම් හේතුවෙන් ජාවාරම්කරුවන් හට සිය ජාවාරම් කටයුතු සිදු කරගෙන යාමට අවස්ථාවක් නොමැති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.