‘අන්තර්ජාතික මුහුදු සීමාව සහ එහි ගැටළු’ පිළිබඳ දේශන මාලාවක් පැවැත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් වෙනුවෙන් ‘අන්තර්ජාතික මුහුදු සීමාව සහ එහි ගැටළු’ පිළිබඳ දේශන මාලාවක් නාවික පර්යේෂණ ඒකකයේ ප්‍රධානී, කොමදෝරු ප්‍රසාද් කාරියප්පෙරුම විසින් මෙහෙයවනු ලබයි.

ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදා සියළු විධානයන්, නාවික හා සාගරික විද්‍යාපීඨය සහ වෙරළාරක්‍ෂක බලකා මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම දේශන මාලාවක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ අනුව මේවන විට වයඹ නාවික විධානය, උතුරු නාවික විධානය සහ බටහිර නාවික විධානයන් තුල දේශන පැවැත්විමට කටයුතු කර ඇත. මෙම දේශන සඳහා නාවික හමුදා සහ වෙරළාරක්‍ෂක බලකායට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරින් ඇතුළුව නිලධාරින් විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

මෙම අන්තර්ජාතික මුහුදු සීමාව සම්බන්ධ දේශනයේදී, මුහුදේ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය III, අන්තර්ජාතික මුහුදු සීමාව නිර්ණය කළ ආකාරය, සාගර පරිසර පද්ධතිය සහ එහි ජෛව විවිධත්වය මෙන්ම වර්තමානයේ ඇතිවී ඇති සමුද්‍රීය ගැටළු පිළිබඳව සාකච්ඡා කෙරේ.