යන්ත්‍ර තත්ව පරීක්‍ෂණ ඉංජිනේරු සංසදයේ සමුළුව කොළඹදී

යන්ත්‍ර තත්ව පරීක්‍ෂණ ඉංජිනේරු සංසදයේ සමුළුවක් 2019 ඔක්තෝබර් 25 වන දින කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ පිහිටි අද්මිරාල් ‍සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැති අතර, එහි ගෞරවනීය අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගි වීය.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය, මොරටුව විශ්ව විද්‍යාලය සහ කැම්සෝ ලෝඩ්ස්ටාර් (පුද්) සමාගම යන ආයතන සමඟ ඒකාබද්ධව මෙම සමුළුව පවත්වන ලද අතර, එහි අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ යන්ත්‍ර තත්ව පරීක්‍ෂණ ඉංජිනේරුවන් හට යන්ත්‍ර තත්ව පරීක්‍ෂණ පිළිබඳ සැලැසුම් සහ අධ්‍යයන කටයුතු අනෙකුත් පාර්ශවයන් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීම සඳහා පොදු වේදිකාවක් නිර්මාණය කර දීමයි. මෙහිදී සංසදයේ නිල වෙබ් අඩවිය හඳුන්වාදීම ද නාවික හමුදාධිපති අතින් සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ආයතනයේ සභාපති, මහාචාර්ය ටී. එම්. පල්ලේවත්ත මහතා, පේරාදේණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ මහාචාර්ය එස් පතිරණ, විශ්ව විද්‍යාල උගතුන් සහ බුද්ධිමතුන්, ඉංජිනේරු කෂේත්‍රයට අයත් ආයතනයන්හි නියෝජිතයින් සහ නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගී වී සිටියහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණයන් ද ප්‍රදානය කරන ලදී.