වේග ප්‍රහාරක මුර යාත්‍රා නැවත සවිගැන්විමේ ව්‍යාපෘතියක් දකුණු නාවික විධානයේදි ආරම්භ කෙරේ

දකුණු නාවික විධානයේ තවත් සුවිශේෂි අවස්ථාවක් සනිටුහන් කරමින් වේග ප්‍රහාරක මුර යාත්‍රා නැවත සවිගැන්විමේ ව්‍යාපෘතියක් 2019 ඔක්තෝබර් මස 25 වන දින දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කස්සප පෝල් ගේ ප්‍රදානත්වයෙන් ආරම්භ කෙරිණි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත දකුණු නාවික විධානය තුල මෙම වේග ප්‍රහාරක මුර යාත්‍රා නැවත සවිගැන්වීමේ ව්‍යාපෘතිය ආරම්භ කල අතර, එහිදී ප්‍රථම වේග ප්‍රහාරක මුර යාත්‍රා දියත් මගට ගැනීම සනිටුහන් කරමින් පි 485 වේග ප්‍රහාරක මුර යාත්‍රාව දියත් මගට ගැනීම සිදු කරන ලදී. ඒ අනුව, අයහපත් කාලගුණ තත්වයන් හා කාලයත් සමග දුර්වල වී ඇති යාත්‍රවේ බඳ කොටස් නැවත සවිබල ගැන්වීම මෙහිදී සිදු කරනු ලබන අතර, නාවික හමුදා ඉංජිනේරු තාක්‍ෂණය යොදා ගනිමින් වේග ප්‍රහාරක යාත්‍රව සවිගැන්වීමෙන් අනතුරුව පුර්ණ මෙහෙයුම් තත්වයෙන් යුතුව දියත් කිරීමට නියමිතය.

මෙම දියත් මගට ගැනීමේ අවස්ථාව සඳහා දකුණු නාවික ප්‍රදේශභාර නියෝජ්‍ය ආඥාපති, දකුණු නාවික විධානයට අනුයුක්ත දෙපාර්තමේන්තු ප්‍රධානින් ඇතුළු නිලධාරින් හා නාවිකයින් විශාල පිරිසක් සහභාගිවී සිටියහ