මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ඔක්තෝබර් 26 වන දින මීගමුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, බටහිර නාවික විධානය සහ පොලිස් වි‍ශේෂ කාර්ය බලකායේ සංවිධානත්මක අපරාධ මැඩලීමේ ඒකකය එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා ග්‍රෑම් 900 විකිණීම සඳහා සුදානම් වීමේදී ‍මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණ සිටි සැකකරුවන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශනයේදී කේරළ ගංජා විකිණීම සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනා ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහරිනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කරුණු අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අවුරුදු 23, 27 සහ 32 වන වියෙහි පසුවන මීගමුව සහ මට්ටක්කුලිය ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින් සහ කේරළ ගංජා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මීගමුව, පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරුණි.

තවද, නාවික හමුදාව පසුගිය දින කිහිපය පුරා සිදු කළ මෙහෙයුම් හේතුවෙන් මත්ද්‍රව්‍ය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට සමත් වූ අතර, නාවික හමුදාව අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කර මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා කැපවී කටයුතු කරමින් සිටී.