මානුෂිය මෙහෙයුමේදී අබාධිත වූ රණවිරුවන් හට නාගදීපය වැඳපුදා ගැනීමට නාවික හමුදා සහාය

මානුෂිය මෙහෙයුමේදී ආබාධිත තත්වයට පත් රණවිරුවන් වෙනුවෙන් මාතර, කඹුරුපිටිය ප්‍රදේශයේ ස්ථාපිත ‘අභිමන්සල’ හි ප්‍රථිකාර ගනු ලබන රණවිරුවන් 2019 ඔක්තෝබර් 26 වන දින නාගදීප විහාරය වැඳ පුදා ගැනීමට කටයුතු කළ අතර, ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත උතුරු නාවික විධානය විසින් එම රණවිරුවන් හට ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරය වැඳ පුදා ගැනීමට මුහුදු මඟින් ගමන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දීමට කටයුතු කරන ලදී. එහිදී, නාවික හමුදා ජැටියේ සිට නයනතිව් ජැටිය දක්වා නාවික හමුදා යාත්‍රාවක් මඟින් රණවිරුවන් ආරක්‍ෂිතව රැගෙන යාමට කටයුතු කරන ලදී. ඒ අනුව, රණවිරුවන් විසින් නාගදීප විහාරය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව නාගදීප විහාරාධිපති, උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්‍රවීනාචාර්ය අතිපුජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදි. එහිදී විහාරාධිපති විසින් මියගිය රණවිරුවන් හට පිංඅනුමෝදන් කිරීමත්, ආබාධිත රණවිරුවන් සඳහා ඉක්මන් සුවය පැතීමත්, සියළු රණවිරුවන් හට සෙත්පතමින් ආශිර්වාද කිරීමත් සිදු කරන ලදී.

එමෙන්ම, උතුරු නාවික විධානයට අයත් නයනතිව්, නාවික අනුඛණ්ඩය විසින් එම රණවිරුවන් සහ අභිමන්සල කාර්ය මණ්ඩලය වෙත දිවා භෝජන සංග්‍රහයක් ද සුදානම් කර තිබූ අතර, මාතෘ භූමිය වෙනුවෙන් සිය ජිවිතය කැප කළ සහ ආබාධිත තත්වයට පත් රණවිරුවන් වෙනුවෙන් නාවික හමුදාව තුල ද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනු ලබයි.