මුහුදේ අනතුරට පත් ධීවරයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් බේරා ගනි

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 27 වන දින මුහුදේදී අනතුරට පත්ව සිටි ධීවරයින් දෙදෙනෙකු (02) බේරා ගැනීමට සමත් විය.

2019 ඔක්තෝබර් 19 වන දින හලාවත ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ එක්දින ධීවර යාත්‍රාවක් එහි පිටත දහන යන්ත්‍රයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ධීවරයින් දෙදෙනා මුහුදේ අතරමංව සිට ඇති අතර, මෙම අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලද විගස නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත මුර සංචාරයේ නියුතුව සිටි නාවික හමුදා යාත්‍රාවක් එම ධීවරයින් මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා යෙදවීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ මුහුදු ප්‍රදේශයේ අතරමංව සිටි මෙම ධීවරයින් නාවික හමුදාව මඟින් සොයා ගැනීමට සමත් වූ අතර, නාවික හමුදාව මඟින් එම ධීවරයින් නිරුපද්‍රිතව කල්පිටිය පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘විජය’ ආයතනය වෙත රැගෙන ඒමෙන් පසු පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි. තවද, නාවික හමුදාව විසින් මෙලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ආපදාවට පත්වන ධීවර හා නාවික ප්‍රජාව වෙත අවශ්‍ය සහන සැලසීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.