කිමිදුම් වෘත්තියේ නියැලෙන කිමිදුම්කරුවන් සඳහා තාක්‍ෂණික සහ කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳව උපදේශන වැඩමුළුවක් කොළඹදී

බස්නාහිර පළාතේ කිමිදුම් වෘත්තියේ නියැලෙන කිමිදුම්කරුවන් සඳහා තාක්‍ෂණික සහ කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳව උපදේශන වැඩමුළුවක් අද (2019 ඔක්තෝබර් 28)දෙහිවලදී පවත්වන ලද අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ත්‍රිවිධ හමුදා වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා, රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන සහභාගී වීය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ කිමිදුම් වෘත්තිය පිළිබඳ නිපුණතාවය ඇති පුරෝගාමී ආයතනය වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් ඒකකය සහ කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සිටින නාවික හමුදා වෛද්‍ය අංශය සමඟ එක්ව ත්‍රිවිධ හමුදා වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ පුරෝගාමීත්වයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද අතර, ඒ සඳහා බස්නාහිර පළාතේ ජිවත්වන කිමිදුම් වෘත්තිකයින් 150 කට අධික පිරිසක් සහභාගීවී සිටියහ.

කිමිදුම් වෘත්තියේදී ඇතිවන විවිධ රෝගාබාධ, ඒ සඳහා ලබා දිය යුතු ප්‍රථමාධාර සහ සම්මත ප්‍රථිකාර විදි මෙන්ම කිමිදුම් ආශ්‍රිත රෝග වලක්වා ගැනීමේ ක්‍රමෝපායන් සහ කිමිදුම්කරුවන් විසින් පවත්වා ගත යුතු කායික, මානසික, ශාරිරික යෝග්‍යතාවය පිළිබඳවත් න්‍යායාත්මක සහ ප්‍රායෝගික උපදෙස් ලබා දීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් ඒකකය සහ වෛද්‍ය ඒකකය විසින් සිදු කරන ලදී. ඒ සඳහා කිමිදුම්කරුවන් දැඩි උනන්දුවකින් සහභාගීවී සිටියහ.