නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් සීරුවෙන්

මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක් ලෙස හඳුනාගත් ස්ථාන වෙත සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත.

ඒ අනුව, දකුණු පළාතේ තවලම සහ නෙළුව ප්‍රදේශයන්හි නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් අනුයුක්ත කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) සහ නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින්ගෙන් සමන්විත සහන සැළසීමේ කණ්ඩායම් අනුයුක්ත කර ඇත.

තවද, පසුගිය දින කිහිපය පුරාම ගංවතුර ආපදාවකදී සිදුවිය හැකි ව්‍යසනකාරී තත්වයන් අවම කර ගැනීම සඳහා පෙර සූදානමක් වශයෙන් නාවික හමුදාව දිවයිනේ විවිධ ප්‍රදේශවල අපද්‍රව්‍ය එකතු වී ජලය බැස යාම අවහිරවී තිබූ පාලම්, ඇළවල් සහ බෝක්කු පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදී.

එහි තවත් වැඩසටහනක් ගාල්ල, ප්‍රදේශයේ දොඩංගොඩ පාලම කේන්ද්‍ර කර ගනිමින් අද (2019 ඔක්තෝබර් 28) නාවික හමුදාව ක්‍රියාත්මක කරන ලදී. එහිදී පාලම තුල අපද්‍රව්‍ය සිරවීමෙන් ගඟ දෙපස නිවාසවල ජිවත්වන ජනතාවට ඉදිරියේදී ඇති විය හැකි ගං වතුර අවදානමට පිළියමක් වශයෙන් එම අපද්‍රව්‍ය කඩිනමින් ඉවත්කර ජලය බාධාවකින් තොරව ගලා යාමට සැලැස්වීමට දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් කටයුතු කරන ලදී.

එමෙන්ම රටේ ඇතිවන ඕනෑම ආපදා තත්වයකදී මහජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටි.