ජනාධිපති පරිසර සම්මාන උළෙලේදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ “නීල හරිත සංග්‍රාමය” සම්මානයට පාත්‍ර වේ

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සංකල්පයකට අනුව, මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලැබු ජනාධිපති පරිසර සම්මාන උළෙල අද (2019 ඔක්තෝබර් 29) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී පැවැති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ “නීල හරිත සංග්‍රාමය” සම්මානයට පාත්‍ර වන ලදී. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වීය.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු “නීල හරිත සංග්‍රාමය” ලෙස නම් කරන ලද පරිසර සංරක්‍ෂණ නියමු ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණය ‘නීල හරිත පාරාදීසයක්’ ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව, නාවික තඨාකාංගණය තුල කඩොලාන නැවත වගාව හා කැස්බෑ සංරක්‍ෂණය, පැල සිටුවීම, වෙරළ ප්‍රදේශ පිරිසිදු කිරීම කොරල් නැවත වගාව හා සංරක්‍ෂණය, ජල සංරක්‍ෂණ ව්‍යාපෘති, ජිව වායූ ව්‍යාපෘති, අප ජල කළමණාකරණය, ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රතිචක්‍රීකරණය, වන සතුන් සංරක්‍ෂණය, අපද්‍රව්‍ය කළමණාකරණය සහ කඩදාසි භාවිතයෙන් තොර කාර්යාල පරිශ්‍ර ඇති කිරීම යන ව්‍යාපෘති සිදු කරනු ලබයි.

නීල හරිත සංග්‍රාමය යටතේ පරිසරය සුරැකීම සඳහා නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් සහ ව්‍යාපෘති අගය කරනු වස් ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී නාවික තඨාකාංගණය තුල පිහිටි ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය පරිසර හිතකාමී රාජ්‍ය ආයතන කණ්ඩය යටතේ සම්මානයට පාත්‍ර වූ අතර, එහිදී නාවික හමුදාව වෙනුවෙන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ විසින් එම කුසලතා සම්මානය ලබා ගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් සුමංගල ඩයස් මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන්හි නිලධාරින් රැසක් සහභාගී වී සිටියහ.