හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්න කරන්නාගොඩ අද (2019 ඔක්තෝබර් 30) උදෑසන නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වීය.

එහිදි නිලධාරීන් 03 දෙනෙකුගෙන් සහ නාවිකයන් 79 දෙනෙකුගෙන් සැදුම්ලත් විශේෂ සම්මාන ආචාර මුරයක් පිරිනමමින් එතුමන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් නාවික හමුදා මූලස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගත් අතර, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ගෞරවනීය නිලයට උසස් විමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිතර වූ පළමු අවස්ථාව බවට මෙය සනිටුහන් විය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් සිය මාතෘ භූමියෙන් ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා විදහා පෑ නිර්භිත භාවය, ජාතියට පුදකළ ප්‍රසංසනීය සේවය හා සිදු කළ අද්වීතිය මෙහෙවර ඇගයීම උදෙසා 2019 අගෝස්තු 05 වන දින සිට එතුමන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් නම් වූ ගෞරවනීය නිලයට උසස් කරනු ලැබූ අතර, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් නිලය ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ නිලධාරියෙකුට හිමි වූ පළමු අවස්ථාව ද මෙයයි.

තවද, නාවික හමුදාධිපතිතුමා විසින් හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්න කරන්නාගොඩ සමඟ නාවික හමුදා මූලස්ථානයේදී සුහද පිළිසදරක නිරත වූ අතර, එහිදී නාවික හමුදාධිපතිතුමා විසින් නාවික හමුදාවේ වර්තමාන කාර්යභාරය සහ වගකීම් පිළිබඳව අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්න කරන්නාගොඩ දැනුවත් කිරිමට ද කටයුතු කරන ලදී. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් සහ බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ ද සහභාගී වී සිටියහ.

මෙම නිල හමුව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු අතර, නාවික හමුදා මූලස්ථානය වෙත සපැමිණි අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්න කරන්නාගොඩ ජ්‍යේෂ්ඨ නිලධාරිතුමන් නික්ම යෑමට ප්‍රථම නාවික හමුදාධිපති ඇතුළු කළමණාකරන මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනි සිට නාවික හමුදාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතෙහි සමරු සටහනක් තැබීමට ද කටයුතු කරන ලදී.