ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 10 ක් ප්‍රජා අයිතියට පත් කෙරේ

වකුගඩු රෝග නිවාරණය හා රෝගීන්ගේ සුබසාධනය උදෙසා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක් 2019 ඔක්තෝබර් 29 වන දින ජනාධිපති කාර්යාලයේදී අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් දුරස්ථ සංනිවේදන තාක්‍ෂණය ඔස්සේ ප්‍රජා අයිතියට පත් කෙරුණි.

වකුගඩු රෝගයෙන් පීඩා විඳින ප්‍රදේශවල ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ලීම පෙරදැරි කර ගනිමින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උදාර සංකල්පයකට අනුව වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකායේ සහ විවිධ දානපතීන් ගේ මුල්‍ය දායකත්වය මත නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම උපයෝගී කර ගනිමින්, මේවන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක ජල පිරිපහදු යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත.

ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය, පදවිය, පලාගල, තිරප්පනේ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ, පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව, මහකුඹුක්කඩවල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ බෝයගනේ ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ, මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මෙලෙස ස්ථාපිත කරන ලද ජල පිරිපහදු යන්ත්‍ර 10 ක් අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරුණි.

මෙහිදී වකුගඩු රෝගයෙන් පීඩා විඳින ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ඉටු කරනු ලබන සේවාව ඇගයිමට ලක් කරමින් අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නාවික හමුදා ප්‍රතිආශ්‍රැතකරණ ජල පිරිපහදු පද්ධති ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඇගයිමේ සම්මානයක් ද ප්‍රදානය කරන ලදී. එහිදී එම ව්‍යාපෘතිය වෙනුවෙන් නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික (පර්යේෂණ හා සංවර්ධන) කපිතාන් ලසිත් ගුණසේකර එම ඇගයිමේ සම්මානය ලබා ගන්නා ලදී.

එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.