කිලෝග්‍රෑම් 224 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට අයත් දකුණු මුහුදු තීරයේදී කිලෝග්‍රෑම් 224 කට අධික වූ හෙරොයින් බවට සැක කෙරෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් 2019 නොවැම්බර් 03 වන දින නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගන්නා ලදී.

නාවික හමුදාව විසින් ගාල්ලට නුදුරු මුහුදු තීරයේ සිදු කල විශේෂ මෙහෙයුමක් අතරතුර සැක කටයුතු බහුදින ධීවර යාත්‍රාවක් නිරික්‍ෂණය කර එය පරික්‍ෂාවට ලක් කර ඇත. එහිදී එම ධීවර යාත්‍රාව තුල තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය ‍සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය. එහිදී අදාල ධීවර යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකීක පුද්ගලයින් 05 දෙනෙකු ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ‍ගෙන ඇත. එමෙන්ම, මෙම මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ඩිංගි යාත්‍රාවකින් පැමිණ ඇති බවට සැක කෙරෙන සැකකරුවන් දෙදෙනෙකු (02) ද මෙහිදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, ඒ අනුව මෙම මෙහෙයුමේදී සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාව සොයා ගන්නා ලද මෙම මත්ද්‍රව්‍ය තොගය ‍මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක පළ කරන අතර, අත්අඩංගුවට ගත් යාත්‍රාව, පුද්ගලයින් සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීම‍ට නියමිතය. ඒ අනුව මෙම වසර තුළ පමණක් නාවික හමුදාව විසින් සිදු කළ මෙහෙයුම් වලදී හෙරෝයින් කිලෝග්‍රෑම් 739 ක් පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

තවද, මෙම වසර තුලදී පමණක් මෙරටට රැගෙන ඒමට උත්සහ කල සහ රට තුල තිබූ තහනම් මත්ද්‍රව්‍ය වන කේරළ ගංජා ටොන් 3ක් (කිලෝග්‍රෑම් 3263 ක්), දේශිය ගංජා කිලෝග්‍රෑම් 08 ක්, බීඩි කොළ ටොන් 42ක් (කිලෝග්‍රෑම් 42851 ක්), ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර දෙමින් නාවික හමුදාව මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට දායක වී ඇත.

මත් ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සඳහා ඉතා ඉහල ජාත්‍යන්තර සහයෝගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලැබෙන අතර, ඒ සමඟින් ඉතාමත් පුළුල් ලෙස මෙම මෙහෙයුම් දියත් කරමින් සාර්ථක වැටලීම් සිදුකිරීමට නාවික හමුදාවට හැකි වී ඇත. එමෙන්ම, ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සහ රට තුල සිදු කරනු ලබන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මැඩලීමේ ජාතික මෙහෙවර සඳහා නාවික හමුදාව ඉදිරියටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.