කේරළ ගංජා කිලෝග්‍රෑම් 06 සමඟ සැකකරුවන් 05 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව 2019 නොවැම්බර් 04 වන දින පුත්තලම, පාලවිය ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 06 ක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානය විසින් පුත්තලම, පාලවිය ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී සැක කටයුතු පුද්ගලයින් පිරිසක් නිරීක්‍ෂණය කර ඇති අතර, එහිදී නාවික හමුදාව විසින් මෙම පුද්ගලයින් පරික්‍ෂාවට ලක් කර ඇත. සිදු කල පරික්‍ෂාවේදී මොවුන් ලඟ තිබී මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇති අතර, ඒවා විකිණීම සඳහා සුදානම් කර තිබියදී මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත.

එම සැකකරුවන් වයස අවුරුදු 23, 30, 35 සහ 38 වන වියෙහි පසුවන පාලවිය, කඳාන සහ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. තවද, මෙම සැකකරුවන් අතර එක් කාන්තාවක් ද සිටින අතර, එම සැකකරුවන් සහ කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුත්තලම පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.