විදේශීය මත්පැන් බෝතල් 650 ක් සමඟ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව 2019 නොවැම්බර් 03 වන දින සිදු කල වැටලීමකදී වත්තල ප්‍රදේශයේදී විදේශීය මත්පැන් බෝතල් 650 ක් සමඟ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, බටහිර නාවික විධානය සහ නාවල, සුරාබදු ඒකකය එක්ව වත්තල ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු මෝටර් රථයක් නිරික්‍ෂණය කර එය පරික්‍ෂාවට ලක් කර ඇති අතර. එහිදී මෙම විදේශිය මත්පැන් තොගය සොයා ගැනීමට සමත්ව ඇත. පසුව මෙම මෝටර් රථයේ හිමිකරු නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, සිදු කල වැඩිදුර විමර්ශනයේදී මෙම සැකකරු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කරුණු අනාවරණය කරගෙන ඇත. තවද, මෙම මත්පැන් බෝතල් විකිණීම සඳහා සුදානම් කර තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී මෙම මත්පැන් බෝතල් මිලදී ගැනීම සඳහා මෝටර් රථයකින් පැමිණ සිටි ගනුදෙනුකරුවන් තිදෙනෙකු (03) ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, මෝටර් රථය සහ විදේශිය මත්පැන් තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.