අභිනවයෙන් ඉදිකළ නාවික හමුදා සංගමයේ “සිහිනය” නිවාඩු නිකේතනය විවෘත කෙරේ

නාවික හමුදා සංගමය විසින් දියතලාවේ ඉදිකරන ලද “ සිහිනය” නිවාඩු නිකේතනය 2019 නොවැම්බර් 06 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

නාවික හමුදා සංගමයට දියතලාව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක අවශ්‍යතාවය දීර්ඝ කාලයක සිට පැවති අතර, මෙම නිවාඩු නිකේතනය ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරිගේ මුලිකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ලේකම්, රියර් අද්මිරාල් (විශ්‍රාමික) ෂේමාල් ප්‍රනාන්දු ඇතුළු විධායක කමිටුවේ සහයෝගයෙන් නාවික හමුදා සංගමයේ මූල්‍යමය දායකත්වය මත නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ හා නාවිකයන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් ඉදිකර ඇත.

මෙම “සිහිනය” නිවාඩු නිකේතනය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්ණය, ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි , ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ලේකම්, රියර් අද්මිරාල් (විශ්‍රාමික) ෂේමාල් ප්‍රනාන්දු, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ නාවික හමුදා සංගමයේ සාමාජික සාමාජිකාවන් සහ නාවිකයන් පිරිසක් ද සහභාගී වී සිටියහ.