තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් අට දෙනෙකු (08) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 06 වන දින ත්‍රිකුණාමලය, කෝකිලායි මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් අට දෙනෙකු (08) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ මෙම පුද්ගලයින් නාවික හමුදා බාරයට ගෙන ඇත. එම පුද්ගලයින් වයස අවුරුදු 20 ත් 41 ත් අතර වියෙහි පසුවන පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන ඇති අතර, එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා දෙකක්, පිටත දහන යන්ත්‍රදෙකක්, නීති විරෝධි ලෙස අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 10 ක් සහ තහනම් දැලක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, තහනම් ධීවර දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කුච්චවේලි, ධීවර කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

මෙවැනි නීති විරෝධී ක්‍රම භාවිතා කර මසුන් ඇල්ලීම තුලින් සාගර සම්පත් විශාල වශයෙන් විනාශයට පත්වන අතර, එබැවින් මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.