මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (නොවැම්බර් 08) පුත්තලම කරෙයිතිව් මුහුදු ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයකදී බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, බටහිර නාවික විධානය විසින් පුත්තලම කරෙයිතිව් මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 3018.80 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, මෙම බීඩී කොළ තොගය පාර්සල් 52 ක බහා තිබී ඇත.

නීති විරෝධී අන්දමින් මෙරටට රැගෙන ඒම සඳහා මුහුදේ පා කිරීමට කටයුතු කර ඇතැයි සැක ‍කරන අතර. අදාල බීඩී කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අධ්‍යක්ෂ ජෙනරාල් රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, මෙම වර්ෂයේදී පමණක් නීති විරෝධී ලෙස බිඩී කොළ මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද අවස්ථාවන් 71 කදී බීඩී කොළ කිලෝග්‍රෑම් 48000 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කර ඇත. තවද, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන නිරන්තර මෙහෙයුම් හේතුවෙන් සාගරය ප්‍රයෝජනයට ගනිමින් නීති විරෝධී ක්‍රියාවන් සිදු කරනු ලබන ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටු කර දීමට හැකි වි ඇති අතර, ඉදිරියේදී ද මෙවැනි නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීමට නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරමින් සිටී.