මකුළුව බුදධසිංහාරම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම සදහා නාවික හමුදාවේ දායකත්වය

ගාල්ල මකුළුව බුදධසිංහාරම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨීන පිංකම මෙවරත්, බොදු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2019 නොවැම්බර් මස 08 සහ 09 වන දිනයන්හි පැවති අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

ඒ අනුව කඨින චීවර පූජාව සමගාමීව පවත්වන ලද ආශිර්වාද බෝධි පූජා පිංකමෙන් පසු දකුණු නාවික ප්‍රදේශභාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අනුර ධනපාල විසින් සධාතුක කරඬුව වැඩමවීමෙන් පසුව සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණාමය පිංකම ආරම්භ විනි. නාවික හමුදාධිපතිතුමන් ඇතුළු සියළුම නාවික පුද්ගලයන් හට ආශිර්වාද කිරීම, සටනේදී දිවි පිදූ රණවිරුවන්හට පුන්‍යානුමෝදනා කිරීම සහ මාතෘ භූමියට සෙත් පැතීම ද එහිදී සිදු කෙරිණි. අනතුරුව කඨින චීවරය රැගත් අලංකාර පෙරහැර ශ්‍රිලංනානෞ දක්ෂිණ ආයතනය ඉදිරියේ සිට මකුළුව බුදධසිංහාරම පුරාණ විහාරස්ථානය දක්වා පැමිණෙන ලද අතර මෙම අවස්ථාව සදහා බැතිමතුන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ. කඨින චීවර පූජාව සිදුකිරීමෙන් අනතුරුව කුල දරුවකු සසුන් ගතකරමින් ගරුතර සංඝරත්නයේ චිරස්ථිය උදෙසා කටයුතු කරන ලදී. අනතුරුව මහා සංඝරත්නය විෂයෙහි දානමය පිංකමක් සහ පිරිකර පූජාවක්ද පැවැත්විණි.

මෙම වාර්ෂික කඨින පිංකම සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දක්වනු ලැබූ සුවිශේෂි දායකත්වය වෙනුවෙන් මකුළුව බුදධසිංහාරම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති සහ බැතිමතුන් විසින් නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාව වෙත සිය ප්‍රශංසාව පුද කර සිටියහ.