රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණය විහාර මහා දේවි උද්‍යාන රණවිරු ස්මාරකය අභියසදී

මාතෘභූමියේ වෙනුවෙන් සිය ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවය 2019 නොවැම්බර් 10 කොළඹ, විහාර මහා දේවී උද්‍යානය අසල පිහිටි රණවිරු ස්මාරකය අභියස දී ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ද සහභාගී විය.

රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සේවා අධිකාරිය, ආරක්‍ෂක අමාත්‍යංශය සමඟ එක්ව සංවිධානය කරනු ලැබූ මෙම සැමරුම් උත්සවය සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල්, ශවේන් සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු විශ්‍රාමික ත්‍රිවිධ හමුදා ජ්‍යේෂඨ නිලධාරින් මෙන්ම සෙසු නිලයන් ද සහභාගී වී සිටියහ. එමෙන්ම, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් විශාල පිරිසක් ද එම අවස්ථාව සඳහා එක් වී සිටියහ.

රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වු අතර, මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කරමින් මියගිය රණවිරුවන්ට පිං පමුණවා අබාධිත රණවිරුවන්ට ආශිර්වාද එක්කළහ. අනතුරුව, ආරක්‍ෂක ලේකම්තුමා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුන්ගේ ලඟම ඥාතින් මෙන්ම සම්භාවනීය අමුත්තන් ද රණවිරු ස්මාරකය අභියස දී රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර පුදකරන ලදී.

හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු තම සහෝදර රණවිරුවන් හට සිය කෘතවේදීත්වය පළ කරන බියුගල් වාදනයෙන් අනතුරුව අභිමානවත් ආචාර පෙළපාලියකින් අනුස්මරණ උත්සවය නිමාවට පත් කෙරිණි.

තවද, රණවිරුවන් අනුස්මරණය කිරීමේ ප්‍රධාන උත්සවයට සමගාමීව කොළඹ, නාවික හමුදා මූලස්ථානයේ දී බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතාගේ මූලිකත්වයෙන් රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් පවත්වන ලදී. තවද, අනෙකුත් නාවික විධානයන්හිදී විධාන ආඥාපතිතුමන්ලාගේ හා ආයතන හා නෞකාවල අණදෙන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් රණවිරු අනුස්මරණ උත්සව මාලාවක් පැවැත්විණි. ඒ සඳහා නාවික හමුදාවේ සියළුම නෞකා, ආයතන හා අණුඛණ්ඩ නියෝජනය කරමින් නිලධාරීන් සහ නාවිකයින් විශාල පිරිසක් සහභාගී විය.


නාවික හමුදා මුලස්ථාන‍යේ රණවිරු අනුස්මරණ උත්සවය


බටහිර නාවික විධානයේ රණවිරු අනුස්මරණ උත්සවය


දකුණු නාවික විධානයේ රණවිරු අනුස්මරණ උත්සවය


උතුරු නාවික විධානයේ රණවිරු අනුස්මරණ උත්සවය


නැගෙනහිර නාවික විධානයේ රණවිරු අනුස්මරණ උත්සවය


උතුරු මැද නාවික විධානයේ රණවිරු අනුස්මරණ උත්සවය


වයඹ නාවික විධනයේ රණවිරු අනුස්මරණ උත්සවය


ගිණිකොණ නාවික විධානයේ රණවිරු අනුස්මරණ උත්සවය