බිඩී කොළ කිලෝග්‍රෑම් 873 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 10 සහ 11 යන දින වල තලෙයිමන්නාරම් ප්‍රදීපාගාරයට දකුණු දෙසින් හා බටහිර දෙසින් වු මුහුදු ප්‍රදේශයන් ආශ්‍රිතව සිදුකල සෝදිසි කිරිමකදී බිඩී කොළ කිලෝග්‍රෑම් 873 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරුමැද නාවික විධානය විසින් තලෙයිමන්නාරම් ප්‍රදීපාගාරයට දකුණු දෙසින් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයක් අතරතුරදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරික්ෂණය කර ඇති අතර, එය පරික්ෂා කීරීමට යාමේදී එහි තිබු පාර්සල් 09 ක් මුහුදට දමා පලා යාමට තැත්කර පුද්ගලයින් තිදෙනෙකු සහ ඩිංගි යාත්‍රාව නාවික හමුදා බාරයට ගෙන ඇත. එලෙස මුහුදට දැමු පාර්සල් පරික්ෂා කිරීමේදී ඒවායෙහි අසුරා තිබු බිඩී කොළ කිලෝග්‍රෑම් 368 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා බාරයට ගෙන ඇත. මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 28 ත් 33 ත් අතර වියෙහි පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

තවද, එම ප්‍රදේශය හා තලෙයිමන්නාරමි ප්‍රදීපාගාරයට බටහිර දෙසින් වු ප්‍රදේශය ආවරණය කරමින් සිදුකරන ලද වැඩිදුර සෝදිසි කිරිම් වලදී මුහුදේ පාවෙමින් තිබු පාර්සල් 10ක අසුරන ලද කිලෝග්‍රෑම් 505කට ආසන්න බිඩී කොළ ප්‍රමාණයක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

මෙලෙස නාවික හමුදා බාරයට ගන්නා ලද බීඩිකොළ තොගය, පුද්ගලයින් සහ ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ශණ කටයුතු සඳහා යාපනය,රේගු කාර්යාලය වෙත භාර දී ඇත.

තවද, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන සෝදිසි කිරීම් සහ වැටලීම් හේතුවෙන් ජාවාරම්කරුවන් හට සිය ජාවාරම් කටයුතු සිදු කරගෙන යාමට අවස්ථාවක් නොමැති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.