තලාතුඩුව ආරණ්‍ය සේනාසනය වෙත ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවීම සඳහා නාවික හමුදා දායකත්වය

ගාල්ල, කොග්ගල ඔය ආශ්‍රිත දුපතක පිහිටා තිබෙන තලාතුඩුව ආරණ්‍ය සේනාසනය වෙත ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩම කිරිම සදහා 2019 නොවැම්බර් 10 වන දින නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී.

ඒ අනුව, ආරණ්‍ය සේනාසනයේ දායක සභාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව නාවික හමුදාව විසින් දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් එම පුණ්‍ය කටයුත්ත සඳහා අනුයුක්ත කරන ලද අතර, එහිදී බුද්ධ ප්‍රතිමා වහන්සේ බත්තලක් උපයෝගී කර ගනිමින් කොග්ගල ගුවන් හමුදා කඳවුරු ජැටියේ සිට කොග්ගල ඔය හරහා තලාතුඩුව ආරණ්‍ය සේනාසනය වෙත ආරක්ෂිතව වැඩම කර, බෝධිඝරය මත තැම්පත් කිරිමේ පුණ්‍යකර්මය සඳහා දායකත්වය ලබා දීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

මෙම පිංකම සාර්ථක කර ගැනීම සඳහා නාවික හමුදාව විසින් දක්වනු ලැබූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් තලාතුඩුව ආරණ්‍ය සේනාසනයේ පුජ්‍ය ඇල්ලේ ඉන්දසෝභිත නාහිමියන් සහ බැතිමතුන් නාවික හමුදාව වෙත සිය ප්‍රසාදය පුද කර සිටියහ.