නාවික හමුදා සහ වෙරළාරක්‍ෂක බලකා ඒකාබද්ධ මෙහෙයුමකින් බීඩි කොළ තොගයක් සමඟ ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට

නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව අද (2019 නොවැම්බර් 12) වයඹ මුහුදු ප්‍රදේශයේ සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකින් බීඩි කොළ තොගයක් සමඟ ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, කල්පිටිය, කුදිරමලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සැක කටයුතු කුඩා ධීවර යාත්‍රාවක් නාවික හමුදාව නිරීක්‍ෂණය කර ඇති අතර, එම කුඩා ධීවර යාත්‍රාව පරික්‍ෂා කිරීම සඳහා වයඹ මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදි සිටි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක් අනුයුක්ත කිරීමට කටයුතු කරන ලදී. එහිදී මෙම සැක කටයුතු යාත්‍රාව ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී ඇති ඉන්දීය යාත්‍රාවක් බවට කරුණු අනාවරණය කර ගත් අතර, වැඩිදුර පරික්‍ෂා කිරීමේදී මෙම යාත්‍රාවේ තිබී පාර්සල් 33 ක බහා තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1000 කට ආසන්න ප්‍රමාණයක් සමඟ එහි සිටි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් වයස අවුරුදු 26 වන වියෙහි පසුවන පුද්ගලයින් බව හදුනාගෙන ඇති අතර, මෙම බීඩි කොළ තොගය මුහුදු මඟින් රැගෙනවිත් ‍මෙරට සිටින ජාවාරම්කරුවන් හට ලබා දීමට උත්සහ කර ඇති බවට සැක පළ කෙරේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිත අතර, ඉන්දීය කුඩා යාත්‍රාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘විජය’ ආයතනය වෙත රැගෙන යන ලදී.

තවද, ඉන්දියානු ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසරයෙන් රැඳි සිටීම හේතුවෙන් පසුගිය කාලයේ කිහිප අවස්ථාවකදීම නාවික හමුදාව විසින් සිය බාරයට ගැනීමට කටයුතු කරන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා නාවික හමුදාව සතු සම්පත් කාර්යක්‍ෂමව හා ඵලදායි ලෙස යෙදවීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. ඒ සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ද සහයෝගය නිරන්තරයෙන් ලබා ගනිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී.

එමෙන්ම, මෙම වසර තුලදී පමණක් නාවික හමුදාව විසින් දිවයින වටා වූ සාගර කලාපයේ මෙන්ම රට අභ්‍යන්තරය තුල සිදු කරනු ලැබූ මෙහෙයුම් තුලින් බීඩි කොළ ටොන් 50 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත. තවද, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් හට සිය ජාවාරම් කටයුතු සිදු කරගෙන යාමට නොහැකිවී ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටී.