ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රථම වරට නාවික සැතපුම් 50 ක් දුරකදී නාවික සහ ගුවන් හමුදා ඒකාබද්ධ අභ්‍යාසයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ‍ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් සහ පුද්ගල අනුරුවක් (Dummy man) ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් 2019 නොවැම්බර් 13 වන දින පානදුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව මතට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් ගොඩබෑමේ අභ්‍යාස අවස්ථාවන් තුනක් සාර්ථකව මෙහිදී සිදු කරන ලදී. අනතුරුව ‘සිඳුරළ’ නෞකාව ගොඩබිමේ සිට නාවික සැතපුම් 50 ක් දුරකදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්අයි 17හෙලිකොප්ටර් යානය මඟින් පුද්ගලයෙකු නෞකාව මතට ගොඩබැස්සවිමේ අභ්‍යාසය සාර්ථකව සිදු කරන ලදී. එම අභ්‍යාසය සඳහා පුද්ගලයෙකු වෙනුවට පුද්ගල අනුරුවක් උපයෝගී කර ගත් අතර, එහිදී එවැනි අභ්‍යාසයන් තුනක් නෞකාවේ කාර්යමණ්ඩලය සහ ගුවන් නියමුවන් හට සාර්ථකව සිදු කිරීමට හැකි විය.

තවද, නාවික සැතපුම් 50 ක් දුරකදී හෙලිකොප්ටර් යානයක් මඟින් පුද්ගල අනුරුවක් නෞකාව මතට ගොඩබැස්සවිමේ අභ්‍යාසය ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කල ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එය ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ‍‍ඓතිහාසික අවස්ථාවක් වශයෙන් සනිටුහන් වීය.

නාවික ගුවන් ඒකාබද්ධ අභ්‍යාසය මෙහෙයවිම සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන ලද්දේ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව මඟින් වන අතර, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, කොමදෝරු සංජිව ඩයස් ද සහභාගිවී සිටියහ.