16 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 37 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 16 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 37 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව නිමකොට විසිර යාමේ පෙළපාලිය 2019 නොවැම්බර් 13 වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනය යටතේ පවත්වාගෙන යනු ලබන නාවික තාක්ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී එම විසිරයාමේ පෙළපාලිය පැවැති අතර, එම උත්සව අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල, රියර් අද්මිරාල් මුදිත ගමගේ සහභාගී විය.

තවද, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් ඇගයීමට ලක්කරනු වස් කුසලාන ප්‍රධානයක් ද සිදු කෙරුණු අතර, එහිදී 16 වන ශිල්පීය බඳවා ගැනීමේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ආධුනික ශිල්පී එම්ඩබ්ඒ ෂේහාන් කුසලානය දිනා ගත් අතර, ආධුනික ශිල්පී කේඒටීඑච් ජයකොඩි දක්ෂතම ඉලක්කකරුට හිමි කුසලානය හිමි කර ගන්නා ලදී. එමෙන්ම දක්ෂතම ආධුනික ශිල්පී නාවිකයා වශයෙන් ඩීඑච් ප්‍රබුද්ධ නාවිකයා කුසලානය හිමිකර ගන්නා ලදී.

වර්ණවත් සංස්කෘතික අංගයන්ගෙන් අලංකාරවත් වූ මෙම විසිරයාමේ පෙළපාලිය පැමිණ සිටි සෑම දෙනාගේම ආකර්ශණය දිනා ගැනීමට සමත් විය. නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් විසිර යන ලද නාවිකයන්ගේ දෙමාපියන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.