නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක බලකාය එක්ව වයඹ මුහුදේදී තවත් ඒකාබද්ධ මෙහෙයුමක්

නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව අද (2019 නොවැම්බර් 14) වයඹ මුහුදු ප්‍රදේශයේ සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකින් බීඩි කොළ තොගයක් සමඟ ඉන්දියානු ජාතිකයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, කල්පිටිය, කුදිරමලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සැක කටයුතු කුඩා ධීවර යාත්‍රාවක් නාවික හමුදාව නිරීක්‍ෂණය කර එම කුඩා ධීවර යාත්‍රාව පරීක්‍ෂා කිරීම සඳහා වයඹ මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක් අනුයුක්ත කිරීමට කටයුතු කරන ලදී. එහිදී මෙම සැක කටයුතු යාත්‍රාව ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී ඇති ඉන්දීය යාත්‍රාවක් බවට කරුණු අනාවරණය කර ගත් අතර, වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී මෙම යාත්‍රාවේ තිබී පාර්සල් 46 ක බහා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 1400 කට ආසන්න ප්‍රමාණයක් සමඟ එහි සිටි ඉන්දීය ජාතිකයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් අවුරුදු 26, 34 සහ 44 වන වියෙහි පසුවන පුද්ගලයින් බව හදුනාගෙන ඇති අතර, මෙම බීඩි කොළ තොගය මුහුදු මඟින් රැගෙනවිත් ‍මෙරට සිටින ජාවාරම්කරුවන් හට ලබා දීමට උත්සාහ කර ඇති බවට සැක පළ කෙරේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිත අතර, ඉන්දීය කුඩා යාත්‍රාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘විජය’ ආයතනය වෙත රැගෙන යන ලදී.

තවද, 2019 නොවැම්බර් 12 වන දින ද මෙලෙසම ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී බීඩි කොළ ජාවාරමේ නිරත වීමට උත්සාහ කල ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකා ඒකාබද්ධ මෙහෙයුමකින් සමත් විය.

එමෙන්ම, ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපය භාවිතා කරමින් සිදු කරනු ලබන මෙවැනි ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මෙන්ම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, එමඟින් ජාවාරම්කරුවන් හට සිය ජාවාරම් කටයුතු සිදු කරගෙන යාමට කිසිසෙත් අවස්ථාව හිමි නොවනු ඇත.