නාවික හමුදා මෙහෙයුමක් මගින් බීඩි කොළ කිලෝග්‍රෑම් 975 සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 14 වන දින ඩෙල්ෆ්ට් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී බීඩිකොළ කිලෝග්‍රෑම් 975 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

උතුරු නාවික විධානය විසින් ඩෙල්ෆ්ට් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර මුහුදේ පාවෙමින් තිබූ සැක කටයුතු පාර්සල් කිහිපයක් නිරික්‍ෂණය කර ඇත. එහිදී සැක කටයුතු පාර්සල් 15 ක් සොයාගෙන ඇති අතර, එම පාර්සල් පරික්‍ෂා කිරීමේදී එහි තුල තිබී මෙම බීඩි කොළ තොගය සොයා ගැනීමට සමත්ව ඇත. නාවික හමුදාව සිදු කරනු ලබන නිරන්තර මෙහෙයුම් හේතුවෙන් මෙම බීඩි කොළ තොගය මුහුදේ අතහැර දමා ‍ජාවාරම්කරුවන් පලාගොස් ඇති බවට සැක පල කරන අතර, සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

තවද, පසුගිය දින කිහිපයේදී ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී බිඩී කොළ ජාවාරමේ නිරත වීමට උත්සහ කල ඉන්දිය ජාතිකයින් හත්දෙනෙකු (07) අත්අඩංගුවට ගෙන නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකා ඒකාබද්ධ මෙහෙයුම් මඟින් සමත් වූ අතර, ඒ අනුව, මෙම වසර තුල නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයේ සහ රට අභ්‍යාන්තරයේ සිදු කරනු ලැබූ මෙහෙයුම් තුලින් බීඩිකොළ ටොන් 53 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත.

එමෙන්ම, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් හට සිය ජාවාරම් කටයුතු සිදු කරගෙන යාමට නොහැකිවී ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.