අන්තර්ජාතික ථෙරවාදී ධර්මායතනයේ ස්ථාපිත කරන ලද ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ

ආණමඩුව, කරුවලගස්වැව පිහිටි අන්තර්ජාතික ථෙරවාදී ධර්මායතනයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රය අද (2019 නොවැම්බර් 15) සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් විවෘත කෙරිණි.‍

එම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, යුද්ධ හමුදාධිපති ඇතුළුව ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින් මෙන්ම ප්‍රදේශ වාසීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

ආණමඩුව, කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හිනටිකල්ම පිහිටා ඇති අන්තර්ජාතික ථෙරවාදී ධර්මායතනයට පැමිණෙන සැදැහැවත් බැතිමතුන් විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපිරීමට මෙම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රය මඟින් අපේක්‍ෂා කෙරේ.

තවද, වකුගඩු රෝගයෙන් පීඩා විදින ප්‍රදේශවල ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම පෙරදැරි කර ගනිමින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උදාර සංකල්පයකට අනුව වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකායේ සහ විවිධ දානපතීන් ගේ මුල්‍ය දායකත්වය මත නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම උපයෝගී කර ගනිමින්, මේ වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක ජල පිරිපහදු යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත.

ඒ අනුව, ඉදිරියේදී ද වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙවැනිම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධති විශාල ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව තවදුරටත් කටයුතු කරමින් සිටී.