බීඩි කොළ කිලෝග්‍රෑම් 1620 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව අද (2019 නොවැම්බර් 18) අළුයම මීගමුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 1620 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත් අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, බටහිර නාවික විධානය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව මීගමුවට ඔබ්බේන් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් අතරතුරදී සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් නිරික්ෂණය කර එය පරික්‍ෂාවට ලක් කර ඇති අතර, එහිදී පර්සල් 54 ක අසුරා තිබු මෙම බීඩි කොළ තොගය සොයා ගෙන ඇත. එහිදී අදාල යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයින් සිව්දෙනෙකු (04) ද අත් අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයින් අවුරුදු 32, 52, 58 සහ 63 වන වියෙහි පසුවන ශ්‍රී ලාංකීක පුද්ගලයින් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, ටෝලර් යාත්‍රාව සහ බිඩී කොළ තොගය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කොළඹ, වරාය රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, මෙම වර්ෂයේදී පමණක් නීති විරෝධී ලෙස බිඩී කොළ මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද අවස්ථාවන් 79 කදී බීඩි කොළ ටොන් 55 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කර ඇත. තවද, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන නිරන්තර මෙහෙයුම් හේතුවෙන් සාගරය ප්‍රයෝජනයට ගනිමින් නීති විරෝධී ක්‍රියාවන් සිදු කරනු ලබන ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටු කර දීමට හැකි වි ඇති අතර, ඉදිරියේදී ද මෙවැනි නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීමට නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරමින් සිටී.