නාවික හමුදාව විසින් නැවත සවිගන්වන ලද සීජී 410 යාත්‍රාව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත බාර දෙයි

ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණය තුල පිහිටි නාවික දියත්මග මඟින් නැවත සවිගන්වන ලද ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජී 410 යාත්‍රාව 2019 නොවැම්බර් 17 වන දින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට නැවත භාර දෙන ලදී.

එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ සහභාගී විය. අළුත්වැඩීයාවේදී මූලික වශයෙන් යාත්‍රාවේ මතුපිට තීන්ත ඉවත් කිරීම, යාත්‍රාවේ හානියට පත් සහ කඩතොලු වූ බඳ කොටස් නැවත සකස් කිරීම, එන්ජිම නැවත ස්ථාපනය කිරීම, නව රේඩාර් පද්ධතියක් ස්ථාපනය කිරීම සහ නව ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතියක් (GPS) ස්ථාපනය කිරීම ආදි වූ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදී.

තවද, මෙම යාත්‍රාව 1988 වර්ෂයේදී ඊශ්‍රාලය මඟින් ශ්‍රී ලංකාව වෙත ලබා ගන්නා ලද අතර, මෙම යාත්‍රාව වසර තිහකට (30) පසුව ප්‍රධාන නැවත සවිගැන්විමේ ක්‍රියාවලියක් මෙලෙස සිදු කරන ලදී.