නාවික සංග්‍රාමික කටයුතු වලදි ජාත්‍යන්තර නීති වල ඇති වැදගත්කම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති අවධාරණය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව එක්ව සංවිධානය කරනු ලබන 06 වන ආසියා - පැසිෆික් සම්මන්ත්‍රණය 2019, අද (නොවැම්බර් 19) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රදානත්වයෙන් කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය.

මෙවර සම්මන්ත්‍රණයේදී “නාවික සංග්‍රාමික කටයුතු වලට අදාල නීතිය” (ජාත්‍යන්තර මානුෂිය නීතිය) යන තේමාව යටතේ නාවික සංග්‍රාමික තත්වයක් තුල පැනනගින සංකීර්ණ අභියෝග මෙන්ම සාගරය ආශ්‍රීත මානුෂිය ක්‍රියාකාරකම් පිළිබඳව ද අවධානය යොමු කිරීමට නියමිතව ඇත.

උත්සව සභාව ඇමතූ නාවික හමුදාධිපතිතුමන්, නාවික සංග්‍රාමික කටයුතුවලදි ජාත්‍යන්තර නීති වල ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කල අතර, එහි මුලිකාංග ලෙස සැලකෙන හමුදා අවශ්‍යතාවය, වෙනස්කම්, සීමාවන්, සමානුපාතිකත්වය සහ මානුෂිය බව යන කරුණු පිලිබඳව පැහැදිලි කිරීමක් ද එහිදි සිදු කරන ලදී. එසේම, මෙවැනි පසුබිමක් තුල නාවික නිලධාරින්ට පැවරෙන කාර්යභාර්ය පිලිබඳව සිහිපත් කල නාවික හමුදාධිපතිතුමන් ඔවුන් සතු අවබෝධය, දැනුම, අවධානය, ඒකාග්‍රතාවය වර්ධනය කරගත යුතු බවත්, යුද නීතින්ට ගරුකරන අතරම නීතිමය ප්‍රතිපාදන වලට අවනතවීමේ වැදගත්කම පිලිබඳව අවධාරණය කරන ලදී.

මෙවර සම්මන්ත්‍රණය සඳහා බංගලාදේශය, කාම්බෝජය, චීනය, ෆිජී, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, මැලේසියාව, මාලදිවයින, මියන්මාරය, නවසීලන්තය, පිලිපීනය, කොරියාව, සිංගප්පූරුව, තායිලන්තය, නැගෙනහිර ටිමෝරය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික නිලධාරින් 26 දෙනෙකු පමණ සහභාගිවී සිටි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික රතු කුරුස කමිටු නියෝජිත පිරිස භාර ප්‍රධානී, ලූකස් පෙට්‍රිඩිස් මහතා, විදේශිය රටවල ආරක්‍ෂක උපදේශකයින්, කථිකයින් සහ විද්වතුන්, විදේශීය නාවික නිලධාරින් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගීවී සිටියහ.