විදේශීය ආරක්‍ෂක නිලධාරීන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව පවත්වනු ලබන තවත් පාඨමාලාවක් ත්‍රීකුණාමලයේදී

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් පවත්වනු ලබන නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ තවත් එක් පාඨමාලාවක් 2019 නොවැම්බර් 18 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ පුහුණු පාසලේදී ආරම්භ කෙරුණි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලබන මෙම පුහුණු පාඨමාලාවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් (වියාබ) තුෂිත දුමින්ද සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ නියෝජිත පිරිසක් සහ නාවික හමුදා නිලධාරින් ඇතුළු විශේෂ යාත්‍රා බලඝණයේ උපදේශකයින් පිරිසක් සහභාගීවී සිටියහ.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකා නාවික හමුදාව 2019 වර්ෂයේදී සිව්වන වරටත් සංවිධානය කරන ලද මෙම පාඨමාලාව සති 02 ක කාලසීමාවක් ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පරිශ්‍රයේදී පැවැත්වෙන අතර, ඒ සඳහා තායිලන්ත සාගර පොලිස් නිලධාරින් 04 දෙනෙකු, වියට්නාම වෙරළාරක්‍ෂක බලකා නිලධාරින් 03 දෙනෙකු, පිලිපීන වෙරළාරක්‍ෂක බලකා නිලධාරින් 03 දෙනෙකු, මැලේසියානු සමුද්‍රීය බලාත්මක කිරීමේ ආයතනයේ නිලධාරින් 03 දෙනෙකු සහ ඉන්දුනීසියානු රේගු නිලධාරින් 03 දෙනෙකු සහභාගීවී සිටි.

නිලධාරින් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම පාඨමාලාව තුළදී ප්‍රධාන වශයෙන් නෞකාවන්ට හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳව සහ සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ මෙහෙයුම් ඇතුළු මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම, ලෝකයේ මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ක්‍රම හඳුනාගැනීම හා ප්‍රවාහනය මැඩපැවැත්වීම පිළිබඳව දැනුමක් ලබා දීමට කටයුතු කරනු ලබයි.