කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (2019 නොවැම්බර් 20) මන්නාරම, සවුත්බාර් වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 14.5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම, සවුත්බාර් වෙරළ තීරයේ සිදු කල සෝදිසි කිරීමකදී ධීවර කටයුතු සඳහා ගොස් පැමිණි සැක කටයුතු යාත්‍රාවක් නිරික්‍ෂණය කර ඇති අතර, එය පරික්‍ෂා කිරීමේදී මෙම කැස්බෑ මස් තොගය සොයා ගෙන ඇත. එහිදී මෙම පුද්ගලයින් දෙදෙනා සහ ධීවර යාත්‍රාව නාවික හමුදා බාරයට ගෙන ඇත.

එම සැකකරුවන් මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, ධිවර යාත්‍රාව සහ කැස්බෑ මස් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, මෑතක සිට වඳවී යන සත්වයන්ගේ නාම ලේඛනයට ඇතුළත්ව සිටින‍ මෙම කැස්බෑවන් ආරක්‍ෂා කර සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව සිය දායකත්වය සැපයීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. එමෙන්ම මෙවැනි සත්වයින් සුරක්‍ෂිත කිරීම ශ්‍රී ලාංකීක අප සැමගේ වගකීමක් වන අතර, ඒ සඳහා අප සැම එක්ව කටයුතු කළ යුතුව ඇත.