නාවික පවුල්වල විශ්ව විද්‍යාල වරම් ලද දූදරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

2018 වසරේ දෙසැම්බර් මස පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනීසිට ඉතා විශිෂ්ඨ ලෙස සමත්ව විශ්ව විද්‍යාල වරම් ලද නාවික පුද්ගලයින්ගේ දූ දරුවන් වෙත ප්‍රථම වරට ශිෂ්‍යත්ව ඇගයීම් ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් 2019 නොවැම්බර් මස 20 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණි.

නාවික පුද්ගලයින්ගේ දූ දරුවන්ගේ ඉදිරි උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙනයාමට කෙරෙන දිරිගැන්වීමක් වශයෙන්, නාවික හමුදාධිපතිතුමාගේ උපදෙස් මත නාවික හමුදා සුභසාධක අංශය මඟින් මෙකී ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාවට නංවන ලදී.

මෙහිදී පැමිණ සිටි පිරිස ඇමතූ නාවික හමුදාධිපති තුමන් විශ්ව විද්‍යාල වරම් ලැබූ දූ දරුවන් වෙත නාවික හමුදාව වෙනුවෙන් සිය ප්‍රසාදය පළකර සිටි අතරම, 5 වසර ශිෂ්‍යත්වය සමත්, අ.පො.ස සමාන්‍ය පෙළ මෙන්ම ප්‍රථම වරට විශ්ව විද්‍යාල සදහා තේරී පත්වූ නාවික පවුල්වල දුවා දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය සදහා කටයුතු කරන ලද්දේ දරුවන් දිරිමත් කිරීමට බව ද පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපතිතුමන්, තම දැනුම, ආකල්ප, කුසලතා සහ යහපත් ගුණධර්ම වඩා වර්ධනය කර ගනිමින් මේ වන විට රටට මහත් ව්‍යසනයක්ව පවතින මත් රකුසාට විශ්ව විද්‍යාල තුළදී හසු නොවී තම අනාගතය සාර්ථක කර ගැනීම උදෙසා උපරිමයෙන් වෙර දරන ලෙස ප්‍රකාශ කර සිටින ලදී.

ඒ අනුව, මෙහිදී නාවික හමුදා සේවයෙහි යෙදී සිටියදී ආබාධිතව විශ්‍රාමිකව සිටින නාවික හමුදා පුද්ගලයින්ගේ දූ දරුවන් දෙදෙනෙකු (02) සහ දැනට සේවයෙහි නිරතව සිටින නාවික පුද්ගලයින්ගේ දූ දරුවන් දාහතරදෙනෙකු (14) ඇතුළුව දූ දරුවන් දහසයදෙනෙකු (16) සඳහා රු. 50,000.00 බැඟින් මූල්‍ය පරිත්‍යාගයන් සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල, අධ්‍යක්‍ෂ නාවික සුභසාධක කොමදෝරු සෙනරත් විජේසූරිය මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ශිෂ්‍යත්වලාභී දූ දරුවන්ගේ දෙමාපියන්ද සහභාගී වී සිටියහ.