‘කලම්බු සුපර් ක්‍රොස් - 2019’ දෙසැම්බර් 01 වන දා වැලිසර නාවික හමුදා ධාවන පථයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව තෙවන වරටත් සංවිධානය කරනු ලබන ‘කලම්බු සුපර් ක්‍රොස් - 2019’ තරඟාවලිය දෙසැම්බර් මස 01 වන දින වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී පැවැත්විමට නියමිතව ඇත.

මෙම තරඟාවලිය සම්බන්ධයෙන් 2019 නොවැම්බර් 21 වන දින කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී නාවික හමුදා, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා, අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු ජගත් ප්‍රේමරත්න, නාවික හමුදා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංචිතයේ සභාපති, කොමදෝරු සුනන්ද කළුආරච්චි, තරඟාවලි සංවිධායක, ගයාන් සඳරුවන්, ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමයේ සභාපති, එම්කේ හුසෙන් මහතා සහ තරඟාවලියේ අධ්‍යක්‍ෂ, කීයාස් ඩීන් මහතා හච් ටෙලිකොමිනිකේෂන් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා ද සහභාගීවි සිටියහ.

වැලිසර, නාවික හමුදා ධාවන පථයෙහි යතුරු පැදි ධාවන පථය කිලෝමීටර් 1.8 ක දිගකින් යුක්ත වන අතර, එය වංගු සහිතව සකසා ඇති ශ්‍රී ලංකාවේ විශාලම පිම්මක් සහිත ධාවන පථය වේ. ධාවන පථය පිහිටි භූමි ප්‍රදේශය මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ ගමන් මාර්ගය මනා ලෙස නිරීක්ෂණය කර ගත හැකි වන අයුරින් නිර්මාණය කර ඇත. තවද, ධාවන පථය දෙපස පිහිටි උස් වේදිකාව මත සිට ප්‍රේක්ෂකයින් 10,000 කට පමණ පහසුවෙන් තරඟ නැරඹීමේ අවස්ථාව සළසා දී ඇත. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සියළු යටිතල පහසුකම් වලින් සමන්විත වන පරිදි මෙම ධාවන පථය නිර්මාණය කර ඇති අතර, එය බොරළු යොදා සැකසූ දැනට ශ්‍රී ලංකාවේ පවතින උසස්ම ධාවන පථයක් ලෙස සැළකේ.

මෙම තරඟාවලිය සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වීමට දිවයිනේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් ඉදිරිපත් වී සිටින අතර, , ‘Hutch’ පුද්ගලික සමාගම මෙන්ම CEAT Marketing පුද්ගලික ආයතනය, ‘KTM’ ආයතනය, ‘Honda’ මෝටර් රථ සමාගම, Dimo මෝටර් රථ සමාගම, ලංකා බැංකුව, Abans ආයතනය, Shell Lubricants distribution ආයතනය, ‘Causeway Paints’ පුද්ගලික සමාගම, Eser Marketing ආයතනය සහ ප්‍රීමා කොත්තුමී ඒ අතුරින් ප්‍රධාන වේ. මෙම තරඟාවලියේ නිළ මාධ්‍ය අනුග්‍රහය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ වැනල් අයි ආයතනය සපයනු ලබයි.

මෙම තරඟ සංවිධානයෙන් ලැබෙන අරමුදල්, සටනේදී මිය ගිය, ආබාධිත තත්ත්වයට පත් වූ නාවික රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් හට මෙන්ම නාවික පුද්ගලයින්ගේ සුභසාධන කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.