වෙහෙරගල ජලාශයේ වාන්දොරටු අළුත්වැඩියාව සඳහා නාවික හමුදා දායකත්වය

තණමල්විල, වෙහෙරගල ජලාශයේ අක්‍රීයව පැවැති වාන් දොරටු අළුත්වැඩියා කර විවෘත කිරීම සඳහා නාවික හමුදාව සිය දායකත්ව සපයන ලදී.

ඒ අනුව, වෙහෙරගල ජලාශයේ වාන් දොරටු එසවීම සඳහා ඇති යන්ත්‍රයන් තුනක ඇතිවු දෝෂයන් හේතුවෙන් වාන්දොරටු තුනක් එසවීමට නොහැකිව ඇති බවත්, එය කඩිනමින් අළුත්වැඩියා කර දෙන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මූලස්ථානය දැනුවත් කර ඇති අතර, ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වූ නාවික හමුදාව 2019 නොවැම්බර් 18 වන දින දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් අනුයුක්ත කරන ලදී.

එහිදී දින 04 ක් පුරා නාවික හමුදා කිමිදුම් කණ්ඩායම මහත් පරිශ්‍රමයක් දරමින් වාන් දොරටුවේ කැඩීගොස් තිබූ කේබලයේ කොටස් ඉවත් කර නැවත පිලිසකර කීරිමට 2019 නොවැම්බර් 21 වන දින සමත් වූ අතර, නාවික හමුදාව මඟින් ඉටු කරන ලද සේවය පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදාව වෙත සිය ස්තූතිය පුද කර සිටින ලදී.

තවද, මෙම වෙහෙරගල ජලාශය මගින් මොණරාගල දිස්ත්‍රි‍ක්කයේ හෙක්ටයාර 500 ක් යල සහ මහ දෙකන්නයේම වගාකිරීමට ජලය ලැබෙන අතර, කතරගම ප‍්‍රදේශයේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම ද සිදු කරනු ලබයි.