කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 27 වන දින ‍ ‍කච්චතිව් දූපතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයක් අතරතුරදී කිලෝග්‍රෑම් 96.390 ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදාව විසින් ‍ ‍‍තලෙයිමන්නාරමට උතුරින් වු මුහුදු ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු සඳහා එම යාත්‍රාව සහ එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

පසුව මෙම මුහුදු සීමාවේ සිදුකල වැඩිදුර සෝදිසි කිරීම් වලදී මුහුදේ පාවෙමින් තිබූ සැක කටයුතු පාර්සල් හතරක් නාවික හමුදාව විසින් නිරීක්‍ෂණය කර ඇති අතර, එම පාර්සල් පරීක්‍ෂාවට ලක් කිරීමේදී එහි අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 96.390 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

මෙලෙස, නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 36 ක් සහ 39 ක් වන පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, කේරළ ගංජා ප්‍රමාණය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ් පොලිසිය වෙත භාරදෙන ලදී. කෙසේ නමුත් සොයාගත් කේරළ ගංජා තොගය සහ නාවික හමුදා බාරයට ගත් සැකකරුවන් අතර යම් සබධතාවයක් තිබේදැයි සොයා බැලීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකෙරේ .

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය තුල මෙන්ම වෙරළ තීරය ද කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලබන අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් ‍මෙවැනි නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට හැකියාව ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටී.