69 වන නාවික දිනයට සමගාමීව නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී.

2019 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී 2019 නොවැම්බර් 27 සහ 28 යන දෙදින තුළ පැවැත්වේ. මෙම අවස්ථාවට නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දතී උදිතමාලා ජයනෙත්ති මහත්මිය ද සහභාගි වුණි.

නාවික හමුදාව විසින් අඛණ්ඩව අටවන වරටත් සංවිධානය කළ මෙම ආගමික උත්සවයේදී ජාතික ධජය, බෞද්ධ ධජය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධාන, ආයතන සහ නෞකා වලට අයත් ධජයන් 88 කට සෙත් පැතීම එහිදී සිදු කෙරේ. ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ හා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගනිමින් පැවති මෙම උත්සවය, අනුරාධපුර අට‍මස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝණායක, ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාසාභිධාන නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම අවස්ථාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, උතුරු මැද නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් සුදත් කුරුකුලසූරිය ඇතුළු නාවික විධානයන් භාර ආඥාපතිවරුන් සහ නාවික හමුදා ‍අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සහභාගී වුණි. තවද, නාවික හමුදා මූලස්ථානයට හා උතුරු මැද නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයින් මෙන්ම බැතිමතුන් විශාල පිරිසක් ද එම අවස්ථාවට එක් විය. ධජ ආශිර්වාද පූජාවට සමගාමීව නාවික හමුදා බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන ලද කප්රුක් පූජා පිංකමක්ද අනුරාධපුර, රුවන්වැලි මහා සෑ රදුන් අභියසදී පැවැත්වේ.