ගාලු මුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා දායකත්වය

දේශීය හා විදේශීය සංචාරකයින් වැඩි වශයෙන් නැරඹීමට පැමිණෙන ගාලු මුවදොර වෙරළ තීරය තුල කැලිකසල සහ ප්ලාස්ටික් එකතු වී අපිරිසිදු තත්වයේ පැවැති අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි නාවික හමුදාව විසින් එම වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (2019 නොවැම්බර් 30) ක්‍රියාත්මක කරන ලදි.

එහිදී නාවික හමුදාව විසින් වෙරළ තීරයන් හි විසිරී තිබූ ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු කැළිකසල විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කරන ලදී. ඊට සමගාමීව පැල රෝපණය කිරීමේ වැඩසටහනක් ද නාවික හමුදාව ක්‍රියාත්මක කල අතර, එහිදී පොල් පැල ඇතුළු වෙරළ තීරයට ආවේණික පැල කිහිපයක් රෝපණය කිරීමට කටයුතු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඇතුළු නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ. තවද, දිවයින වටා වූ වෙරළ පරිසර පද්ධතිය අපද්‍රව්‍යවලින් තොර සුන්දර වෙරළ තීරයක් බවට පත් කිරීමේ යුතුකම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබන බැවින් වෙරළ හා වෙරළ ආශ්‍රිතව පරිසර පද්ධතිය මතුපරපුර වෙනුවෙන් සුරක්‍ෂිත කිරීමට හැකියාව ලැබෙනු ඇත.