නාවික මෙහෙයුම් අතරතුර බීඩී කොළ කිලෝග්‍රෑම් 854.1 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් නොවැම්බර් 29 සහ 30 යන දෙදින මන්නාරම සහ මුලතිව් ප්‍රදේශයන් කේන්ද්‍ර කරගනිමින් සිදු කළ සෝදිසි කිරිම්වලදී බීඩී කොළ කිලෝග්‍රෑම් 854.1 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් මස 29 වන දින මුලතිව්, තුනුක්කායි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී වෙරළ තීරයේ අතහැර දමා ගොස් තිබූ සැක කටයුතු පාර්සල් 06 ක් නිරික්‍ෂණය කර ඇති අතර, එහි තුල තිබි බීඩී කොළ කිලෝග්‍රෑම් 234.1 ක් සොයා ගැනීමට එහිදී හැකි විය. එම බීඩී කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

එමෙන්ම, 2019 නොවැම්බර් මස 30 වන දින අළුයම මන්නාරම, ඕළුතුඩුවායි ප්‍රදේශය ආශ්‍රිත වෙරළ තීරයේ සිදු කල සෝදිසි කිරීමකදී වෙරළට ආසන්න පඳුරක් අසල සඟවා තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 620 ක් සොයා ගැනීමට සමත් වූ අතර, ඒවා පාර්සල් 17 ක අසුරා තිබී ඇත. මෙහිදී සැක කටයුතු පුද්ගලයින් සිව්දෙනෙකු (04) ද නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එම සැකකරුවන් අවුරුදු 38, 42 සහ 43 වන වියෙහි පසුවන කල්පිටිය සහ කන්දක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. එම බීඩී කොළ තොගය සහ පුද්ගලයින් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, නාවික හමුදාව ශ්‍රී ලංකාව වටා පිහිටි මුහුදු ප්‍රදේශය සහ වෙරළ තීරය නිරන්තර විමර්ශනයට ලක් කරන අතර, එමගින් සාගරය හරහා සිදුවන නීතිවිරෝධී ජාවාරම් මැඩලීමට හැකිවී ඇත. නිරන්තර අවධානයෙන් රාජකාරී කරන නාවික පුද්ගලයින් නිසා මුහුදු මගින් සිදුවන ජාවාරම් රාශියක් වළකාලීමටත්, එම ජාවාරම් සිදු කරනු ලබන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත් නාවික හමුදාව සමත්ව ඇත. ඒ අනුව, මෙම වර්ෂයේදී පමණක් නීති විරෝධී ලෙස බිඩී කොළ මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද අවස්ථාවන් 82 කදි පුද්ගලයින් 78 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී බීඩී කොළ ටොන් 55 කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනීමට කටයුතු කර ඇත.